Sunday, July 17, 2022

Dil ka rishtha - හදවතේ බැදීම

සිංහල බසින් හඳවතේ බැඳීම කියන එක තමයි ‘dil ka rishtha’ කියන එකේ තේරුම වෙන්නෙ. මේ චිත්‍රපටය රිලීස් වෙන්නේ 2003 වසරේ ජනවාරි 17 වෙනිදා. එහෙම බලද්දි මේ වසර වෙනකොට මේ චිත්‍රපටය තිරගත වෙලා වසර 19 ක කාලයක් ගත වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය නරේෂ් මල්හෝත්‍රා, නිෂ්පාදනය ආදිත්‍ය රායි.   චිත්‍රපටය මිනිත්තු 151ක් පුරාවට බොහොම සුන්දර සිදුවීම්, හැල හැප්පීම් මධ්‍යයේ හදවතේ බැඳීම ගැන අපූරුවට කියාපාමින් ගලාගෙන යනවා. අපි හඳුනගමු කතාවේ ප්‍රධාන චරිත 2. පිරිමි ප්‍රධාන චරිතය වන ජයි මෙහෙතාගේ චරිතය ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අර්ජුන් රාම්පාල් විසින් රඟ දක්වද්දි කාන්තා ප්‍රධාන චරිතය වන ටියාගේ චරිතය සුප්‍රසිද්ධ නිළි අයිශ්වර්යා රායි විසින් රඟ දක්වනවා .මේ චිත්‍රපටිය වෙනුවෙන්  රු. 8 25 00 000 ක් වෙන් කරලා තියෙනවා වගේම බොක්ස් ඔෆිස් ආදායම 14 60 20 000  ක් වෙලා තියෙනවා.

ෆිල්ම් එක පටන්ගන්නේ කලබලයෙන් ඇඳකින් නැගිටලා ලෑස්ති වෙන කඩවසම් පිරිමි කෙනෙක්ගේ දර්ශනයකින්. ඊටත් පස්සේ මේ පිරිමි කෙනා පිටරටක ඉඳන් අහස් යානාවකින් ඉන්දියාවට ඇවිත් මුම්බායි වල තියෙන ගෙදරකට එනවා පෙන්නනවා.මේ අපේ කතාවේ කතා නායකයා ‘ජයි මෙහෙතා’. ජයි ගෙදරට ආවට පස්සෙ ජයිගෙ තාත්තා සහ ජයි අතර කතාබහක් ඇතිවෙනවා. මේ කතාබහෙන් දැනගන්න හම්බවෙනවා ජයිගෙ අම්මාගේ උපන්දිනේ අද කියලා. ඉතින් ඔන්න ජයි තාත්තාව යනවා මුලින්ම ගිහින් විෂ් කරන්න කියලා. අපි දැන් කතාවේ බලාගෙන ඉන්නවා කවුද මේ අම්මා කියලා අඳුනගන්න.හැබැයි තාත්තා ගිහින් විෂ් කරන්නේ ලොකු ෆොටෝ එකකට. ඔව් ඒ කියන්නෙ ජයිගෙ අම්මා මේ වෙනකොට ජීවතුන් අතර නෑ. ඒ වගේම මේ වෙලාවෙ ජයි තමන්ගේ අම්මාගේ පාද සළඹක් අරගෙන අම්මට උපන්දිනේට විෂ් කරනවා. එක පැත්තකින් තමන්ගේ බිරිඳට ජයි ලේලියෙක් තාම ගෙනාවේ නෑ කියලා දොස් කියනකොට මේ පැත්තෙ ඉඳන් ජයි තමන්ගේ අම්මාට පොරොන්දු වෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට අනිවාර්යයෙන් අම්මට ලේලියෙක් ගේනවා කියලා. මෙන්න මේ වස්තුබීජේ එක්ක තමයි චිත්‍රපටය ඉස්සරහට ගලාගෙන යන්නේ. 

ඔන්න ඊළඟට තවත් චරිතයක් කතාව ඇතුළට එනවා මෙවෙලෙ. ඒ තමා අනිතා. අනිතා කියලා කියන්නෙ ජයිගෙ හොඳම යාලුවා. ඒ වගේම අනිතා සමාජ සේවිකාවක්. කොහොම හරි ජයිට සිද්ධ වෙනවා අනිතා එක්ක සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් පාසලකට යන්න. මේ පාසලේ ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවො. මෙතනදි තමයි ජයි, ටියාව දකින්නේ. ටියා ළමයි එක්ක නෙට්බෝල් සෙල්ලම් කර කර ඉන්නවා, ඒ වගේම දරුවන් එක්ක සංඥා භාෂාවෙන් කතා කරන්නෙ. මේක දිහා කියාගන්න බැරි හැඟීමකින් ජයි බලාගෙන ඉන්නවා.  ජයි ගෙදර ගිහින් ඔන්න පොතක් අරන් සංඥා භාෂාව පුරුදු වෙනවා. එතනට ජයිගේ තාත්තා එනවා. එතනදී ජයි කියනවා මං ගෑණු ළමයෙක්ට ආදරේ කරනවා කියල. ඒක අහලා ජයිගෙ තාත්තා හුඟාක් සතුටු වෙනවා. ඊටපස්සේ ජයි කියනවා හැබැයි එයාට කතා කරන්නත් බෑ ඇහෙන්නෙත් නෑ කියලා. එවෙලෙ ජයි තාත්තාගෙන් ඉල්ලනවා දැන් ඔයා මේක කිව්වම කතාවේ දුෂ්ඨයා වෙන්නෙපා තාත්තෙ කියලා. ජයිගෙ තාත්තා බොහොම ආදරණීය චරිතයක්. ජයිට බොහොම ආදරේ කරන, ජයිගේ සතුට ගැන හිතන හිනාවෙලා සතුටින් ඉන්න චරිතයක්. ඉතින් තාත්තාගේ පිළිතුර වෙන්නෙ ඔයා මනමාළි අරගෙන එන්න මං කසාදේ ලෑස්ති කරන්නම් කියන එකයි.

ඊටපස්සේ ජයි ආයේ අර පාසලට ගිහින් ටියාව හොයාගෙන යනවා. ගිහින් ටියා එක්ක සංඥාවලින් කතා කරන්න ගන්නවා. දැන් ටියා හිතන්නෙ ජයිට ඇහෙන්නෙත් නෑ, කතා කරන්නත් බෑ කියලා. ඉතින් ටියාත් සංඥාවලින්ම කතා කරන්න ගන්නවා. ඊටපස්සේ ඔන්න අනිතා එක්කයි මේ පාසලේ විදුහල්පතිතුමිය එක්ක ජයි කතා කර කර ඉන්නවා දැකලා ටියා පුදුමෙන් අහනවා ඔයාට කතා කරන්නත් පුළුවන් ඒ වගේම ඇහෙනවනේ කියලා. ජයිත් මෙවෙලෙ කියනවා ඔයාටත් පුළුවන්නෙ කියලා. ඔන්න මේ වෙලාවෙ තමා දෙන්නට දෙන්නා දැනගන්නේ මේ දෙන්නට ඇහෙනවා වගේම කතා කරන්නත් පුළුවන් කියලා. ඒ වගේම මේ වෙලාවෙ ජයි ඉදිරිපත් වෙනවා පාසලේ පවත්වන්න යන ප්‍රසංගයක් සංවිධානය කරන්න. එවෙලෙ ජයි ඉල්ලනවා මට හැබැයි සංවිධායක කටයුතුවලට උදව් වෙන්න ඕන කියල. ජයිගෙ බලාපොරොත්තුව වෙන්නෙ ටියාට ලංවෙන එක. ඒ හිතුවා  වගේම ඔන්න ප්‍රසංගයට ලෑස්ති වෙන අතරේ මේ දෙන්නා අතරේ හොඳ සමීපත්වයක් නිර්මාණය වෙනවා.

ඔන්න ප්‍රසංගය මේ විදියට අන්තිමට ඉවර වෙනවා. මේ ෂෝ එක ඉවර උනාට පස්සේ ජයි තමන්ගේ හිතේ තිබ්බ දේ ටියාට කියනවා. මේක අහලා ටියාට ටිකක් තරහ යනවා. කෝම උනත් කිසිම උත්තරයක් නොදී ටියා මෙතනට මෝටර් බයිසිකල් එකකින් එන පිරිමි කෙනෙක්ව වැළඳගෙන මේ බයික් එකේ නැගලා යන්න යනවා. මෙතන වෙන කතා බහත් එක්ක අනාවරණය වෙනවා රාජ් කියන්නේ ටියාගේ පෙම්වතා කියලා. රාජ් අනාථයෙක් විදිහට තමා හැදී වැඩෙන්නේ. බොහොම අහිංසක, ආදරණීය චරිතයක්. ටියාට ගොඩක් ආදරේ කරන කෙනෙක්. 

 මේ සිදුවීමෙන් පස්සේ ජයි කල් ගෙවන්නෙ බොහොම දුකින්. හැබැයි ජයි දිගින් දිගටම උත්සාහය අත් නොහැර තමන්ගේ ආදරේ දිනාගන්න තමන්ගේ පෙන්නන්න කටයුතු කරනවා. නමුත් අවාසනාවකට ඒ හැම අවස්ථාවකදීම  ආඩම්බරකමක් එක්ක ටියා බොහොම කටුක විදිහට ජයිව ප්‍රතික්ෂේප කරනවා. කොහොම උනත් මේ වගේ එක අවස්ථාවකදී ටියා ජයිට ටියා ලඟදීම රාජ්ව කසාද බඳිනවා කියලත් කියනවා. ඒ කිව්ව විදිහටම ටියා සහ රාජ් කසාද බඳිනවා ටියාගෙ අම්මගේ ආශිර්වාදය මැද්දේ. මෙතනදී කියන්න ඕන ටියාගේ අම්මාත් ටියා වගේම ටිකක් ආඩම්බර චරිතයක්. හැබැයි ටියාගේ අම්මා රාජ්ට හුඟාක් ආදරෙයි. කොහොම උනත් ඔන්න ඔය විදියට ටියා සහ රාජ් කසාඳ බැඳලා සතුටින් ජීවත් වෙනවා. ඒ අතර මෙයාලගේ ජීවීතේ සතුට තවත් වැඩි කරමින් තුන්වැන්නෙකුත් මෙයාලා අතරට එනවා. ඒ තමා ටියාගෙයි රාජ්ගෙයි පුංචි පුතා අංශු. එක් පැත්තක මේ පුංචි පවුල බොහොම සතුටින් කල් ගෙවෙද්දි අනිත් පැත්තෙන් තනි උනු ජයි බීමත්ව බොහොම දුක සේ කාලය ගෙවනවා..

එක දවසක් රාජ් එක්ක ටියා රෙස්ටුරන්ට් එකකට යනවා කෑමකට. මේ දවසෙම අනිතා එක්ක රාජ් එළියට ගිහින් ඉන්නවා. කොහොම උනත් අනිතා , ජයි බීමතින් ඉන්න නිසා වාහනේ ඩ්‍රයිව් කරන් යන්නන් කියද්දි ජයි ඒකට ඉඩ දෙන්නෙ නෑ. ජයි මෙහෙම බීමතින් වාහනෙ පදවන් යද්දි හදිසියේම තවත් කාර් එකක් එක්ක හැප්පෙනවා. මේ කාර් එකේ ඉන්නෙ රාජ් සහ ටියා. මේ අනතුර නිසා රාජ්ගේ ජීවිතය වගේම අනිතාගේ ජීවිතයත් නැති වෙනවා. ටියාගේ මතකය නැති වෙනවා. මේ හැම දේකටම වග කිව යුත්තා ජයි වෙනවා. ජයිට මේ කාලය බොහොම අසීරු කාලයක් වෙනවා. කොහොම උනත් ඔහු ටියාට ආදරේ කිරීම නවත්වන්න නෑ වගේම ටියාගේ වගකීම ගන්නත් ඉදිරිපත් වෙනවා. ඒ නිසා ටියා, ටියාගේ අම්මා වගේම අංශු South Africa යනවා ජයි එක්ක. මොකද ටියාගේ ඩොක්ටර්ස්ලා නිර්දේශ කරනවා අතීතය ඇවිස්සෙන්නෙ නැති තැනකට ටියා යන එක හොඳයි කියලා. ඒ වගේම මේ ඩොක්ටර්ස්ලා කියන්නෙ ටියාගේ මතකය ආයේ බලෙන් ගන්න ගියොත් එයා පිස්සෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මැරෙන්න උනත් පුළුවන් කියලා. ටියාගේ අම්මා ජයිට දැඩිව වෛර කරා උනත් ජයිගේ උදව් ගන්න හේතුව වෙන්නෙ මේකයි. ටියාගේ තත්ත්වය නිසා රාජ් ගැන කිසිම සඳහනක් කරන්නේ නෑ. ඒ වගේම  අනිතා කියන්නෙ ජයිගේ වයිෆ්, ඇක්සිඩන්ට් එකෙන් අනිතා මැරෙනවා. අංශු කියන්නෙ එයාලගෙ පුතා. ඔන්න ඔය විදියටයි ටියා දැන් කතාව දන්නෙ. කොහොම උනත් ටියාගේ අම්මා ටියාව දරුවට ලං කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම ටියා සහ අංශු අතර තියෙන හදවතේ බැඳීමත් මේ අතරේ හොඳින් නිරූපණය වෙනවා. 

අපේ ජීවිතේ හැමවෙලේම අපි හිතන දේවල් සිද්ධ නෑ. නොහිතන දේවල් වෙන්න පුලුවන්. නොහිතන වෙලාවක නොහිතන දේවල් වෙන්න පුලුවන්. දේවල් කණපිට පෙරලෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ මේ කතාවෙත් ප්‍රේක්ෂකයා පුදුම කරමින් ටියා ජයිට කැමති වෙන්න පටන් ගන්නවා, හොරෙන්ම ආදරේ කරන්න පටන් ගන්නවා. ඒ උනත් ජයි උත්සාහ කරන්නේ තමන්ගේ ආදරේ හිතේ විතරක් තියාගෙන ටියාගෙන් ඈත් වෙලා ඉන්න. එකක් ජයිට හැමවෙලේම වරදකාරී බවක් දැනෙනවා ටියාගෙ ජීවීතේ මේ තැනට පත් උනේ තමා නිසා කියලා. ඒ වගේම ටියාගේ අම්මා දැඩිව කියනවා ටියාගේ ජීවීතේ වගේම එයාගේ ජීවීතෙත් රාජ්ට තිබ්බ තැන ගන්න උත්සාහ කරන්න එපා කියලා.

මේ අතරේ මේ ගෙදරට ජයිගෙ තාත්තා එනවා. ජයිගෙ තාත්තා ටියාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා ජයිගෙ හිත දිනාගන්න. ඒ වගේම තාත්තා ටියාට කියනවා මං ඔයාව මගේ ලේලි විදිහට පිළිගෙන ඉවරයි කියලා. හැබැයි ටියාගේ අම්මා මේ වෙන කිසිම දේකට කැමති නෑ. ඇත්තටම කතාවේ ප්‍රේක්ෂකයාගෙ දුෂ්ඨයා වෙන්නෙ ටියාගෙ අම්මා.ජයිගෙ තාත්තා ටියාගෙ අම්මට  දැනෙන්න කියන කතාවක් තියෙනවා. ඊයේ දවස අපිට වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් ඒවා අමතක කරන එක කියලා. තමන්ගේ අතීතෙ ගැන මතකයක් නැති ටියාත් ඉන්නෙ ඒ අදහසෙමයි. මේ වෙනකොට ටියාගේ අම්මා මේ දේවල් නිසා ටියා, ජයි, ජයිගෙ තාත්තා මේ හැමෝම එක්ක ඉන්නෙ තරහෙන්. මේ දේවල් මධ්‍යයේ දවසක් ජයිගෙ තාත්තා ටියාගෙ අම්මාට තෑගි පෙට්ටි දෙකක් දෙනවා මේක බලලා ඔයාම ටියාගේ ජීවීතේ ගැන තීරණයක් ගන්න කියලා. පළවෙනි පෙට්ටියේ මංගල සාරියක්. අම්මා ඒක විසි කරලා දෙවනි එක ඇරලා බලනවා. ඒකෙ තියෙන්නෙ සුදු සාරියක්. අවසාන අම්මා ටියාගෙ සහ ජයිගෙ විවාහයට කැමති වෙනවා. “මට අංශු නැතුව ඉන්න බෑ, අංශුට ඔයා නැතුව ඉන්න බෑ ඒ වගේම ජයිට ඔයා නැතුව ඉන්න බෑ’’ ඔහොමයි අම්මාගේ කතාව.

මේ සතුටත් එක්ක ටියා ජයිව හොයාගෙන යනවා. ගිහින් කියනවා මේ ආරංචිය. හැබැයි ජයි එවෙලෙත් ප්‍රතික්ෂේප කරනවා. ජයි කියන්නෙ එයාට අතීතය අමතක කරන්න බෑ කියලා. මේ දර්ශනය උද්වේගකාරී විදිහට ගලාගෙන ගිහින් ඉවර වෙන්නෙ ජයි ටියාට අතකුත් උස්සලා. මේ දුකට ටියා අඬ අඬ වාහනෙකුත් අරන් යන්න යනවා. ජයි ටියාගෙ පස්සෙන් යනවා. ටියාගේ උත්සාහය ජීවීතේ නැති කරගන්න. මේ වෙලාවෙ ජයිගෙ කටින් බැරි වෙලා ‘ඔයාගෙ පුතා අංශු’ කියලා කියවෙනව. මේ වෙලාවෙ ජයි අතීතයේ  සිද්ධ උනු හැම ඇත්තක් ටියාට කියනවා. අවසානෙ ටියාගෙ සමාවත් ජයිට හම්බවෙනවා. ඒ්ත් ටියා තව දුරටත් ජයිගෙ ආදරෙ පතන්න සූදානම් වෙන්නෙ නෑ මොකද එයා අම්මා කෙනෙක් කියලා. මේ වෙලාවෙ ජයි තමන්ගේ හඳවතේ හිර කරන් හිටපු බැඳීම ගැන ආදරණීයව කියනවා. ඒ වගේම අවසානයේ අහන්නේ එකම එක ප්‍රශ්නයයි. “ඔයා මාව බඳිනවාද’’

ඔන්න ඔය විදියට අවසානේ 'dil ka rishtha' චිත්‍රපටය සතුටුදායක අවසානයක් එක්ක අවසන් වෙනවා. 


Tuesday, July 12, 2022

ලොව විශාලතම පුෂ්පය

ලොව මෙතෙක්  වාර්තා වී ඇති විශාලතම පුෂ්පය වනුයේ රැෆ්ලේසියා ආර්නෝල්ඩී ( Rafflesia arnoldii) නම් පුෂ්පයයි. මෙම පුෂ්පය සොයාගැනීමේ ගෞරවය ශ්‍රීමත් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් සහ ආචාර්ය ජේම්ස් ආර්නෝල්ඩ් හට හිමිවේ. එම නිසා ඔවුන් දෙදෙනාගේ නම් ඈදා මෙම පුෂ්පය නම් කර තිබේ.ඉන්දුනීසියාවේ වැසි වනාන්තර ආශ්‍රිතව දැකගත හැකිවන මෙම පුෂ්පය සෙන්ටිමීටර 106.7 පමණ විශ්කම්භයකින් සහ කිලෝග්‍රෑම් 11 පමණ බරින් යුතු වේ. රැෆ්ලේසියා ආර්නෝල්ඩී ඉන්දුනීසියාවේ ජාතික පුෂ්පවලින් එකක් ලෙසද සැලකේ. ඉන්දුනීසියාව මෙහි නිජ බිම වුවත් සුමාත්‍රා, බෝර්නියෝ, තායිලන්තය, මැලේසියාව ආදි රටවලද දක්නට ලැබේ.

මෙම ශාකය කිසිඳු ආකාරයක මුල්, කඳන් සහ පත්‍ර නොමැති සම්පූර්ණ පරපෝෂිතයෙකු වේ. පුෂ්පය රතු - තැඹ්ලි පැහැයක් ගන්නා අතර සුදුපැහැ පැල්ලම්වලින් යුතු පෙති පහකින් සමන්විතය. 

රැෆ්ලේසියා මාංශ භක්ෂක ශාකයකි. කුණු වූ මස්වලින් වහනය වන ආකාරයේ ගන්ධයක් මේ තුළින් වහනය වේ.ඒ නිසා ලොව ඇති අප්‍රසන්නම ශාකවලින් එකක් ලෙසද සැලකේ.නමුත් එම ගන්ධය ඔස්සේ ආකර්ෂණය වී පැමිණෙන බොහෝ කෘමීන් මෙහි ගොඳුරු බවට පත්වේ. 

රැෆ්ලේසියා පුෂ්පය පවතින්නේ දින කිහිපයක් පමණක් බැවින් එහි දසුනක් දැකගැනීම වුව දුර්ලභය. කෙසේවෙතත් රැෆ්ලේසියාගේ ජීවන චක්‍රය එතරම් සුන්දර නොවේ. එනම් පෘථිවියේ වඩාත්ම තර්ජනයට ලත් ශාක විශේෂයක් ලෙස රැෆ්ලේසියා ප්‍රකාශයට පත් කර ඇත. අවම වශයෙන් රැෆ්ලේසියා විශේෂ 13ක් පමණ ඇත. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන් දෙකක් වඳ වී ගොස් ඇතැයි උපකල්පනය කෙරේ. එසේම රැෆ්ලේසියා මැග්නිෆිකා (Rafflesia magnifica) වැනි විශේෂ 'දැඩි තර්ජනයට ලක්වීමේ' වර්ගීකරණයට අයත්ව ඇත. 

මෙම විශේෂයේ ව්‍යාප්තියේ කුඩා පරාසය මෙන්ම රැෆ්ලේසියාගේ වාසස්ථාන විනාශවීම මෙහි වඳ වී යාමට මූලිකව බලපා ඇත. පාලිත හා ආරක්ෂක පරිසරයක රැෆ්ලේසියා වගා කිරීමට පරිසරවේදීන් උත්සාහ කලද, ඒවා බොහෝදුරට අසාර්ථක වීම කණගාටුවට කරුණකි. 



Monday, July 4, 2022

සියදිවි නසාගැනීමේ වනාන්තරය හෙවත් අකිගහාරා ජුකයි



ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම සියදිවි නසාගැනීම හේතුවෙන් ලොව පුරා මිනිසුන් 700,000 කට වැඩි සංඛ්‍යාවක් මිය යති. ලොව පුරා අනෙක් රටවල් පසෙකලා ජපානය ගත් කල එහි වෙසෙන සමස්ත ජනගහනයේ විශාලත්වය නිසා, එය සියදිවි නසාගැනීම් අතින් ලොව ඉහළම තැනට පත්වන රටවල් 10 අතරට නොපැමිණියද , බරපතල තත්ත්වයක් පවතී. 2019 වසරට අදාළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ජපානයේ සියදිවි නසාගැනීමේ අනුපාතය 15.3%කි. මෙහි විශේෂත්වය වනුයේ එරට සියදිවි නසාගැනීම සඳහාම ප්‍රසිද්ධියට පත් ස්ථානයක් තිබීමයි.

සියදිවි නසාගැනීමේ වනාන්තරය ජපන් බසින් හැඳින්වෙන්නේ අකිගහාරා ජුකයි (Aokigahara Jukai) ලෙසයි. වෘක්‍ෂ සාගරය (Sea of Trees) යන නමින්ද හඳුන්වනු ලබන මෙය ෆූජී කන්දෙ උතුරු පාමුල යාමනාෂි (Yamanashi) නම් ප්‍රාන්තයේ පිහිටා ඇත. ක්‍රි.ව 1864 දී පමණ ෆූජී කන්ද සක්‍රීය වී ඉන් හටගත් ලාවා ඒ අවට ප්‍රදේශය පුරා පැතිර ගොස් ක්‍රමයෙන් ඒ මත ගස්වැල් නිර්මාණය වී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් විශාල වනාන්තරයක් බවට පත්වී ඇත. මෙම වනාන්තරය අක්කර 7400ක් පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත.මෙහි පහත්බිම්වල ඇති පස අසමාන වන අතර කුඩා ගුහාවලින් පිරී ඇත. පසෙහි අධික යකඩ අන්තර්ගතයක් ඇති අතර එම නිසා ජීපීඑස් (GPS) සහ ජංගම දුරකථන සංඥාවලට මෙතුළ බාධා ඇති වේ.

සියදිවි නසාගැනීමේ වනාන්තරයේ ඉතිහාසය හාරා ඇවිස්සීමේදී ඒ හා බැඳි විවිධ පුරාවෘත ඇති බව පෙනී යයි. බොහෝ කලකට පෙර සියළුම දරුවන් පෝෂණය කිරීමට නොහැකි වූ පවුල්වල අය තම පවුලේ සාමාජිකයන්ගෙන් එක් අයෙක් අකිගහාරාවට පූජා කල බව කියවේ. පවුලේ අන් සාමාජිකයන්ට ජීවත්වීම පිණිස එකී පුද්ගලයා සෙමෙන් සෙමෙන් බඩගින්නේ මිය යයි. පුරාවෘතයන්ට අනුව මෙම පුද්ගලයා මේ ලෝකය අතැර යාමට නොහැකි අවතාරයක් වන 'යූරි' (Yurei) බවට පත්වේ. ඇතැම් තැනක මෙය අතීතයේ වැඩිහිටියන් මියයාමට අත්හැර දැමීමේ ස්ථානයක් ලෙසද දක්වා ඇත.

වනාන්තරයට ඇතුළු වීමට ප්‍රථම මෙහි පැමිණෙන අමුත්තන්ගේ රථ වාහන නවතා තැබීමට ඉදිකොට ඇති රථගාලක් වේ. එහි දිරාපත් වූ වාහන ආදිය දැකගත හැකි අතර ඒවා වනාන්තරයට ඇතුල් වී සියදිවි හානි කරගත් අයගේ බව සඳහන් වේ. තත්ත්වය මෙසේ වුවද වනාන්තර පිවිසුම්වල ඇති පුවරු මඟින් තම ජීවිතය වටිනා බවත්, තම පවුල් ගැන සිතිය යුතු බවත් මතක් කර දීමට අමතක කර නැත. ජපාන රජයේ සහ විවිධ සංවිධාන ආදිය මඟින් වනාන්තර තුළ සිදුකෙරෙන විවිධ සංචාරවලින් දිවිතොර කර ගැනීමට පැමිණෙන්නන්ගේ මානසික ව්‍යාකූලත්වය යහපත් මට්ටමකට ගෙන ඒමටත් ඔවුන් යළි නිවෙස් කරා යැවීමටත් උත්සාහ ගනී.

සියදිවි තොර කරගැනීමේ අරමුණින් යුතුවම පැමිණෙන්නන් හැර මරණය පිළිබඳ ස්ථීර මතයක් නොමැතිව මෙහි ඇතුල් වන පිරිස්ද වේ. ඔවුන් සිය ගමන ඇරඹි ස්ථානයේ සිට ටේප් පටියක් භාවිතා කරමින් වනය තුලට ගමන් කරති. මෙම වනයට ඇතුළු වූ පසු නැවත පිටතට පැමිණීම දුෂ්කර කාර්යයක් බැවින් නැවත හැරී ගමන් කිරීමේ පහසුව තකා මෙම ක්‍රමය යොදාගන්නා බව සිතිය හැක. මුළු වනය පුරා මෙසේ එක් එක් අතට ඇද ඇති ටේප් පටි දැකගත හැකිවීමෙන් මෙය තහවුරු වේ.

වනයට ඇතුළු වීමෙන් පසු පුද්ගලයන් මේ තුළ අතරමං වන්නේ භූතාත්මවල බලපෑමෙන් බව ජපන් ජාතිකයෝ විශ්වාස කරති. එසේම වනාන්තරයේ අඳුරු, නිහඬ බව නිසාද ඒ වටා අත්භූත කතන්දර ගෙතී ඇත. නමුත් වනාන්තරයේ නිහඬතාව පිළිබඳ සැලකීමේදී එහි පිටුපස ඇත්තේ භූ විද්‍යාත්මක මිස් අත්භූත හේතු නොවේ. මීට වසර ගණනාවකට පෙර ෆූජී කන්ද පුපුරා ලාවා ගලා ගොස් කැලෑව ලාවා මත වැඩුණු මුත් පස යට ඇති පාෂාණ ශබ්ද අවශෝෂණය කරගන්නා අතර එමඟින් ඒ අවට වායුගෝලය නිහඬ තැනක් බවට පත්කොට ඇත.

1960 දශකයේ සෙයිචො මැට්සුමොටෝගේ (Seicho Matsumoto) 'නමි නො තො' (Nami no To) හෙවත් 'Tower of Waves' නම් නවකතාවේ සියදිවි නසාගන්නා ආදරයෙන් විනාශ වූ, රූමත් වීරවරියකගේ විශේෂාංගයක් ඇත. මේ හරහා 'අකිගහාරා' සියදිවි නසාගැනීම සඳහා අතිශය අවධානයට පත් වූ ස්ථානයක් වූ බවට ජපන් වැසියන් දෝෂාරෝපණ එල්ල කරති. වතරු සුරුමිගේ (Wataru Tsurumi) කෙන්සන් ජිසාත්සු මන්යුආරි (Kanzen Jisatsu Manyuary) හෙවත් The Complete Manual of Suicide ග්‍රන්ථයෙහිද මෙම වනය මිය යාමට සුදුසු ස්ථානයක් ලෙස නම් කලේය. එසේම මෙම වනාන්තරය උප වාර්තා චිත්‍රපටයක් හා හොලිවුඩ් චිත්‍රපට දෙකක් සඳහා පාදක වී ඇත. එනම් 2015 වසරේ නිෂ්පාදිත 'The Sea of Trees' සහ 2016 දී නිෂ්පාදිත 'The Forest' යන චිත්‍රපටයි.

කෙසේවෙතත් මෙම ස්ථානය තුළ ක්‍රමයෙන් සියදිවි නසාගැනීමේ සංඛ්‍යාව ඉහළ යාම නිසා මෙතුළින් සොයාගත් මියගිය ගණන පොලීසිය විසින් ප්‍රකාශයට පත්කිරීම නවතා දැමීය. ඒ සියදිවි නසාගැනීමේ ස්ථානයක් ලෙස මෙම ස්ථානය කෙරෙහි ලැබී ඇති අවධානය අඩුකිරීමේ බලාපොරොත්තුවෙනි.එසේවුවද තවමත් මිනිසුන් සිය ජීවිතය සියතින්ම අවසන් කිරීම උදෙසා 'අකිගහාරා ජුකයි' වෙත යන බව කියවේ. ඒ නිසාම නිතරම එම ප්‍රදේශයේ එරට පොලීසිය මුර සංචාරයේ යෙදී සිටී.

Dil ka rishtha - හදවතේ බැදීම

සිංහල බසින් හඳවතේ බැඳීම කියන එක තමයි ‘dil ka rishtha’ කියන එකේ තේරුම වෙන්නෙ. මේ චිත්‍රපටය රිලීස් වෙන්නේ 2003 වසරේ ජනවාරි 17 වෙනිදා. එහෙම බලද...