සිංහල බසින් හඳවතේ බැඳීම කියන එක තමයි ‘dil ka rishtha’ කියන එකේ තේරුම වෙන්නෙ. මේ චිත්‍රපටය රිලීස් වෙන්නේ 2003 වසරේ ජනවාරි 17 වෙනිදා. එහෙම බලද්දි මේ වසර වෙනකොට මේ චිත්‍රපටය තිරගත වෙලා වසර 19 ක කාලයක් ගත වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය නරේෂ් මල්හෝත්‍රා, නිෂ්පාදනය ආදිත්‍ය රායි. චිත්‍රපටය මිනිත්තු 151ක් පුරාවට බොහොම සුන්දර සිදුවීම්, හැල හැප්පීම් මධ්‍යයේ හදවතේ බැඳීම ගැන අපූරුවට කියාපාමින් ගලාගෙන යනවා. අපි හඳුනගමු කතාවේ ප්‍රධාන චරිත 2. පිරිමි ප්‍රධාන චරිතය වන ජයි මෙහෙතාගේ චරිතය ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අර්ජුන් රාම්පාල් විසින් රඟ දක්වද්දි කාන්තා ප්‍රධාන චරිතය වන ටියාගේ චරිතය සුප්‍රසිද්ධ නිළි අයිශ්වර්යා රායි විසින් රඟ දක්වනවා .මේ චිත්‍රපටිය වෙනුවෙන් රු. 8 25 00 000 ක් වෙන් කරලා තියෙනවා වගේම බොක්ස් ඔෆිස් ආදායම 14 60 20 000 ක් වෙලා තියෙනවා.
ෆිල්ම් එක පටන්ගන්නේ කලබලයෙන් ඇඳකින් නැගිටලා ලෑස්ති වෙන කඩවසම් පිරිමි කෙනෙක්ගේ දර්ශනයකින්. ඊටත් පස්සේ මේ පිරිමි කෙනා පිටරටක ඉඳන් අහස් යානාවකින් ඉන්දියාවට ඇවිත් මුම්බායි වල තියෙන ගෙදරකට එනවා පෙන්නනවා.මේ අපේ කතාවේ කතා නායකයා ‘ජයි මෙහෙතා’. ජයි ගෙදරට ආවට පස්සෙ ජයිගෙ තාත්තා සහ ජයි අතර කතාබහක් ඇතිවෙනවා. මේ කතාබහෙන් දැනගන්න හම්බවෙනවා ජයිගෙ අම්මාගේ උපන්දිනේ අද කියලා. ඉතින් ඔන්න ජයි තාත්තාව යනවා මුලින්ම ගිහින් විෂ් කරන්න කියලා. අපි දැන් කතාවේ බලාගෙන ඉන්නවා කවුද මේ අම්මා කියලා අඳුනගන්න.හැබැයි තාත්තා ගිහින් විෂ් කරන්නේ ලොකු ෆොටෝ එකකට. ඔව් ඒ කියන්නෙ ජයිගෙ අම්මා මේ වෙනකොට ජීවතුන් අතර නෑ. ඒ වගේම මේ වෙලාවෙ ජයි තමන්ගේ අම්මාගේ පාද සළඹක් අරගෙන අම්මට උපන්දිනේට විෂ් කරනවා. එක පැත්තකින් තමන්ගේ බිරිඳට ජයි ලේලියෙක් තාම ගෙනාවේ නෑ කියලා දොස් කියනකොට මේ පැත්තෙ ඉඳන් ජයි තමන්ගේ අම්මාට පොරොන්දු වෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට අනිවාර්යයෙන් අම්මට ලේලියෙක් ගේනවා කියලා. මෙන්න මේ වස්තුබීජේ එක්ක තමයි චිත්‍රපටය ඉස්සරහට ගලාගෙන යන්නේ.
ඔන්න ඊළඟට තවත් චරිතයක් කතාව ඇතුළට එනවා මෙවෙලෙ. ඒ තමා අනිතා. අනිතා කියලා කියන්නෙ ජයිගෙ හොඳම යාලුවා. ඒ වගේම අනිතා සමාජ සේවිකාවක්. කොහොම හරි ජයිට සිද්ධ වෙනවා අනිතා එක්ක සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් පාසලකට යන්න. මේ පාසලේ ඉන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවො. මෙතනදි තමයි ජයි, ටියාව දකින්නේ. ටියා ළමයි එක්ක නෙට්බෝල් සෙල්ලම් කර කර ඉන්නවා, ඒ වගේම දරුවන් එක්ක සංඥා භාෂාවෙන් කතා කරන්නෙ. මේක දිහා කියාගන්න බැරි හැඟීමකින් ජයි බලාගෙන ඉන්නවා. ජයි ගෙදර ගිහින් ඔන්න පොතක් අරන් සංඥා භාෂාව පුරුදු වෙනවා. එතනට ජයිගේ තාත්තා එනවා. එතනදී ජයි කියනවා මං ගෑණු ළමයෙක්ට ආදරේ කරනවා කියල. ඒක අහලා ජයිගෙ තාත්තා හුඟාක් සතුටු වෙනවා. ඊටපස්සේ ජයි කියනවා හැබැයි එයාට කතා කරන්නත් බෑ ඇහෙන්නෙත් නෑ කියලා. එවෙලෙ ජයි තාත්තාගෙන් ඉල්ලනවා දැන් ඔයා මේක කිව්වම කතාවේ දුෂ්ඨයා වෙන්නෙපා තාත්තෙ කියලා. ජයිගෙ තාත්තා බොහොම ආදරණීය චරිතයක්. ජයිට බොහොම ආදරේ කරන, ජයිගේ සතුට ගැන හිතන හිනාවෙලා සතුටින් ඉන්න චරිතයක්. ඉතින් තාත්තාගේ පිළිතුර වෙන්නෙ ඔයා මනමාළි අරගෙන එන්න මං කසාදේ ලෑස්ති කරන්නම් කියන එකයි.
ඊටපස්සේ ජයි ආයේ අර පාසලට ගිහින් ටියාව හොයාගෙන යනවා. ගිහින් ටියා එක්ක සංඥාවලින් කතා කරන්න ගන්නවා. දැන් ටියා හිතන්නෙ ජයිට ඇහෙන්නෙත් නෑ, කතා කරන්නත් බෑ කියලා. ඉතින් ටියාත් සංඥාවලින්ම කතා කරන්න ගන්නවා. ඊටපස්සේ ඔන්න අනිතා එක්කයි මේ පාසලේ විදුහල්පතිතුමිය එක්ක ජයි කතා කර කර ඉන්නවා දැකලා ටියා පුදුමෙන් අහනවා ඔයාට කතා කරන්නත් පුළුවන් ඒ වගේම ඇහෙනවනේ කියලා. ජයිත් මෙවෙලෙ කියනවා ඔයාටත් පුළුවන්නෙ කියලා. ඔන්න මේ වෙලාවෙ තමා දෙන්නට දෙන්නා දැනගන්නේ මේ දෙන්නට ඇහෙනවා වගේම කතා කරන්නත් පුළුවන් කියලා. ඒ වගේම මේ වෙලාවෙ ජයි ඉදිරිපත් වෙනවා පාසලේ පවත්වන්න යන ප්‍රසංගයක් සංවිධානය කරන්න. එවෙලෙ ජයි ඉල්ලනවා මට හැබැයි සංවිධායක කටයුතුවලට උදව් වෙන්න ඕන කියල. ජයිගෙ බලාපොරොත්තුව වෙන්නෙ ටියාට ලංවෙන එක. ඒ හිතුවා වගේම ඔන්න ප්‍රසංගයට ලෑස්ති වෙන අතරේ මේ දෙන්නා අතරේ හොඳ සමීපත්වයක් නිර්මාණය වෙනවා.
ඔන්න ප්‍රසංගය මේ විදියට අන්තිමට ඉවර වෙනවා. මේ ෂෝ එක ඉවර උනාට පස්සේ ජයි තමන්ගේ හිතේ තිබ්බ දේ ටියාට කියනවා. මේක අහලා ටියාට ටිකක් තරහ යනවා. කෝම උනත් කිසිම උත්තරයක් නොදී ටියා මෙතනට මෝටර් බයිසිකල් එකකින් එන පිරිමි කෙනෙක්ව වැළඳගෙන මේ බයික් එකේ නැගලා යන්න යනවා. මෙතන වෙන කතා බහත් එක්ක අනාවරණය වෙනවා රාජ් කියන්නේ ටියාගේ පෙම්වතා කියලා. රාජ් අනාථයෙක් විදිහට තමා හැදී වැඩෙන්නේ. බොහොම අහිංසක, ආදරණීය චරිතයක්. ටියාට ගොඩක් ආදරේ කරන කෙනෙක්.
මේ සිදුවීමෙන් පස්සේ ජයි කල් ගෙවන්නෙ බොහොම දුකින්. හැබැයි ජයි දිගින් දිගටම උත්සාහය අත් නොහැර තමන්ගේ ආදරේ දිනාගන්න තමන්ගේ පෙන්නන්න කටයුතු කරනවා. නමුත් අවාසනාවකට ඒ හැම අවස්ථාවකදීම ආඩම්බරකමක් එක්ක ටියා බොහොම කටුක විදිහට ජයිව ප්‍රතික්ෂේප කරනවා. කොහොම උනත් මේ වගේ එක අවස්ථාවකදී ටියා ජයිට ටියා ලඟදීම රාජ්ව කසාද බඳිනවා කියලත් කියනවා. ඒ කිව්ව විදිහටම ටියා සහ රාජ් කසාද බඳිනවා ටියාගෙ අම්මගේ ආශිර්වාදය මැද්දේ. මෙතනදී කියන්න ඕන ටියාගේ අම්මාත් ටියා වගේම ටිකක් ආඩම්බර චරිතයක්. හැබැයි ටියාගේ අම්මා රාජ්ට හුඟාක් ආදරෙයි. කොහොම උනත් ඔන්න ඔය විදියට ටියා සහ රාජ් කසාඳ බැඳලා සතුටින් ජීවත් වෙනවා. ඒ අතර මෙයාලගේ ජීවීතේ සතුට තවත් වැඩි කරමින් තුන්වැන්නෙකුත් මෙයාලා අතරට එනවා. ඒ තමා ටියාගෙයි රාජ්ගෙයි පුංචි පුතා අංශු. එක් පැත්තක මේ පුංචි පවුල බොහොම සතුටින් කල් ගෙවෙද්දි අනිත් පැත්තෙන් තනි උනු ජයි බීමත්ව බොහොම දුක සේ කාලය ගෙවනවා..
එක දවසක් රාජ් එක්ක ටියා රෙස්ටුරන්ට් එකකට යනවා කෑමකට. මේ දවසෙම අනිතා එක්ක රාජ් එළියට ගිහින් ඉන්නවා. කොහොම උනත් අනිතා , ජයි බීමතින් ඉන්න නිසා වාහනේ ඩ්‍රයිව් කරන් යන්නන් කියද්දි ජයි ඒකට ඉඩ දෙන්නෙ නෑ. ජයි මෙහෙම බීමතින් වාහනෙ පදවන් යද්දි හදිසියේම තවත් කාර් එකක් එක්ක හැප්පෙනවා. මේ කාර් එකේ ඉන්නෙ රාජ් සහ ටියා. මේ අනතුර නිසා රාජ්ගේ ජීවිතය වගේම අනිතාගේ ජීවිතයත් නැති වෙනවා. ටියාගේ මතකය නැති වෙනවා. මේ හැම දේකටම වග කිව යුත්තා ජයි වෙනවා. ජයිට මේ කාලය බොහොම අසීරු කාලයක් වෙනවා. කොහොම උනත් ඔහු ටියාට ආදරේ කිරීම නවත්වන්න නෑ වගේම ටියාගේ වගකීම ගන්නත් ඉදිරිපත් වෙනවා. ඒ නිසා ටියා, ටියාගේ අම්මා වගේම අංශු South Africa යනවා ජයි එක්ක. මොකද ටියාගේ ඩොක්ටර්ස්ලා නිර්දේශ කරනවා අතීතය ඇවිස්සෙන්නෙ නැති තැනකට ටියා යන එක හොඳයි කියලා. ඒ වගේම මේ ඩොක්ටර්ස්ලා කියන්නෙ ටියාගේ මතකය ආයේ බලෙන් ගන්න ගියොත් එයා පිස්සෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මැරෙන්න උනත් පුළුවන් කියලා. ටියාගේ අම්මා ජයිට දැඩිව වෛර කරා උනත් ජයිගේ උදව් ගන්න හේතුව වෙන්නෙ මේකයි. ටියාගේ තත්ත්වය නිසා රාජ් ගැන කිසිම සඳහනක් කරන්නේ නෑ. ඒ වගේම අනිතා කියන්නෙ ජයිගේ වයිෆ්, ඇක්සිඩන්ට් එකෙන් අනිතා මැරෙනවා. අංශු කියන්නෙ එයාලගෙ පුතා. ඔන්න ඔය විදියටයි ටියා දැන් කතාව දන්නෙ. කොහොම උනත් ටියාගේ අම්මා ටියාව දරුවට ලං කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම ටියා සහ අංශු අතර තියෙන හදවතේ බැඳීමත් මේ අතරේ හොඳින් නිරූපණය වෙනවා.
අපේ ජීවිතේ හැමවෙලේම අපි හිතන දේවල් සිද්ධ නෑ. නොහිතන දේවල් වෙන්න පුලුවන්. නොහිතන වෙලාවක නොහිතන දේවල් වෙන්න පුලුවන්. දේවල් කණපිට පෙරලෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ මේ කතාවෙත් ප්‍රේක්ෂකයා පුදුම කරමින් ටියා ජයිට කැමති වෙන්න පටන් ගන්නවා, හොරෙන්ම ආදරේ කරන්න පටන් ගන්නවා. ඒ උනත් ජයි උත්සාහ කරන්නේ තමන්ගේ ආදරේ හිතේ විතරක් තියාගෙන ටියාගෙන් ඈත් වෙලා ඉන්න. එකක් ජයිට හැමවෙලේම වරදකාරී බවක් දැනෙනවා ටියාගෙ ජීවීතේ මේ තැනට පත් උනේ තමා නිසා කියලා. ඒ වගේම ටියාගේ අම්මා දැඩිව කියනවා ටියාගේ ජීවීතේ වගේම එයාගේ ජීවීතෙත් රාජ්ට තිබ්බ තැන ගන්න උත්සාහ කරන්න එපා කියලා.
මේ අතරේ මේ ගෙදරට ජයිගෙ තාත්තා එනවා. ජයිගෙ තාත්තා ටියාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා ජයිගෙ හිත දිනාගන්න. ඒ වගේම තාත්තා ටියාට කියනවා මං ඔයාව මගේ ලේලි විදිහට පිළිගෙන ඉවරයි කියලා. හැබැයි ටියාගේ අම්මා මේ වෙන කිසිම දේකට කැමති නෑ. ඇත්තටම කතාවේ ප්‍රේක්ෂකයාගෙ දුෂ්ඨයා වෙන්නෙ ටියාගෙ අම්මා.ජයිගෙ තාත්තා ටියාගෙ අම්මට දැනෙන්න කියන කතාවක් තියෙනවා. ඊයේ දවස අපිට වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් ඒවා අමතක කරන එක කියලා. තමන්ගේ අතීතෙ ගැන මතකයක් නැති ටියාත් ඉන්නෙ ඒ අදහසෙමයි. මේ වෙනකොට ටියාගේ අම්මා මේ දේවල් නිසා ටියා, ජයි, ජයිගෙ තාත්තා මේ හැමෝම එක්ක ඉන්නෙ තරහෙන්. මේ දේවල් මධ්‍යයේ දවසක් ජයිගෙ තාත්තා ටියාගෙ අම්මාට තෑගි පෙට්ටි දෙකක් දෙනවා මේක බලලා ඔයාම ටියාගේ ජීවීතේ ගැන තීරණයක් ගන්න කියලා. පළවෙනි පෙට්ටියේ මංගල සාරියක්. අම්මා ඒක විසි කරලා දෙවනි එක ඇරලා බලනවා. ඒකෙ තියෙන්නෙ සුදු සාරියක්. අවසාන අම්මා ටියාගෙ සහ ජයිගෙ විවාහයට කැමති වෙනවා. “මට අංශු නැතුව ඉන්න බෑ, අංශුට ඔයා නැතුව ඉන්න බෑ ඒ වගේම ජයිට ඔයා නැතුව ඉන්න බෑ’’ ඔහොමයි අම්මාගේ කතාව.
මේ සතුටත් එක්ක ටියා ජයිව හොයාගෙන යනවා. ගිහින් කියනවා මේ ආරංචිය. හැබැයි ජයි එවෙලෙත් ප්‍රතික්ෂේප කරනවා. ජයි කියන්නෙ එයාට අතීතය අමතක කරන්න බෑ කියලා. මේ දර්ශනය උද්වේගකාරී විදිහට ගලාගෙන ගිහින් ඉවර වෙන්නෙ ජයි ටියාට අතකුත් උස්සලා. මේ දුකට ටියා අඬ අඬ වාහනෙකුත් අරන් යන්න යනවා. ජයි ටියාගෙ පස්සෙන් යනවා. ටියාගේ උත්සාහය ජීවීතේ නැති කරගන්න. මේ වෙලාවෙ ජයිගෙ කටින් බැරි වෙලා ‘ඔයාගෙ පුතා අංශු’ කියලා කියවෙනව. මේ වෙලාවෙ ජයි අතීතයේ සිද්ධ උනු හැම ඇත්තක් ටියාට කියනවා. අවසානෙ ටියාගෙ සමාවත් ජයිට හම්බවෙනවා. ඒ්ත් ටියා තව දුරටත් ජයිගෙ ආදරෙ පතන්න සූදානම් වෙන්නෙ නෑ මොකද එයා අම්මා කෙනෙක් කියලා. මේ වෙලාවෙ ජයි තමන්ගේ හඳවතේ හිර කරන් හිටපු බැඳීම ගැන ආදරණීයව කියනවා. ඒ වගේම අවසානයේ අහන්නේ එකම එක ප්‍රශ්නයයි. “ඔයා මාව බඳිනවාද’’
ඔන්න ඔය විදියට අවසානේ 'dil ka rishtha' චිත්‍රපටය සතුටුදායක අවසානයක් එක්ක අවසන් වෙනවා.


❤️
ReplyDelete