Monday, July 4, 2022

සියදිවි නසාගැනීමේ වනාන්තරය හෙවත් අකිගහාරා ජුකයි



ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම සියදිවි නසාගැනීම හේතුවෙන් ලොව පුරා මිනිසුන් 700,000 කට වැඩි සංඛ්‍යාවක් මිය යති. ලොව පුරා අනෙක් රටවල් පසෙකලා ජපානය ගත් කල එහි වෙසෙන සමස්ත ජනගහනයේ විශාලත්වය නිසා, එය සියදිවි නසාගැනීම් අතින් ලොව ඉහළම තැනට පත්වන රටවල් 10 අතරට නොපැමිණියද , බරපතල තත්ත්වයක් පවතී. 2019 වසරට අදාළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ජපානයේ සියදිවි නසාගැනීමේ අනුපාතය 15.3%කි. මෙහි විශේෂත්වය වනුයේ එරට සියදිවි නසාගැනීම සඳහාම ප්‍රසිද්ධියට පත් ස්ථානයක් තිබීමයි.

සියදිවි නසාගැනීමේ වනාන්තරය ජපන් බසින් හැඳින්වෙන්නේ අකිගහාරා ජුකයි (Aokigahara Jukai) ලෙසයි. වෘක්‍ෂ සාගරය (Sea of Trees) යන නමින්ද හඳුන්වනු ලබන මෙය ෆූජී කන්දෙ උතුරු පාමුල යාමනාෂි (Yamanashi) නම් ප්‍රාන්තයේ පිහිටා ඇත. ක්‍රි.ව 1864 දී පමණ ෆූජී කන්ද සක්‍රීය වී ඉන් හටගත් ලාවා ඒ අවට ප්‍රදේශය පුරා පැතිර ගොස් ක්‍රමයෙන් ඒ මත ගස්වැල් නිර්මාණය වී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් විශාල වනාන්තරයක් බවට පත්වී ඇත. මෙම වනාන්තරය අක්කර 7400ක් පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත.මෙහි පහත්බිම්වල ඇති පස අසමාන වන අතර කුඩා ගුහාවලින් පිරී ඇත. පසෙහි අධික යකඩ අන්තර්ගතයක් ඇති අතර එම නිසා ජීපීඑස් (GPS) සහ ජංගම දුරකථන සංඥාවලට මෙතුළ බාධා ඇති වේ.

සියදිවි නසාගැනීමේ වනාන්තරයේ ඉතිහාසය හාරා ඇවිස්සීමේදී ඒ හා බැඳි විවිධ පුරාවෘත ඇති බව පෙනී යයි. බොහෝ කලකට පෙර සියළුම දරුවන් පෝෂණය කිරීමට නොහැකි වූ පවුල්වල අය තම පවුලේ සාමාජිකයන්ගෙන් එක් අයෙක් අකිගහාරාවට පූජා කල බව කියවේ. පවුලේ අන් සාමාජිකයන්ට ජීවත්වීම පිණිස එකී පුද්ගලයා සෙමෙන් සෙමෙන් බඩගින්නේ මිය යයි. පුරාවෘතයන්ට අනුව මෙම පුද්ගලයා මේ ලෝකය අතැර යාමට නොහැකි අවතාරයක් වන 'යූරි' (Yurei) බවට පත්වේ. ඇතැම් තැනක මෙය අතීතයේ වැඩිහිටියන් මියයාමට අත්හැර දැමීමේ ස්ථානයක් ලෙසද දක්වා ඇත.

වනාන්තරයට ඇතුළු වීමට ප්‍රථම මෙහි පැමිණෙන අමුත්තන්ගේ රථ වාහන නවතා තැබීමට ඉදිකොට ඇති රථගාලක් වේ. එහි දිරාපත් වූ වාහන ආදිය දැකගත හැකි අතර ඒවා වනාන්තරයට ඇතුල් වී සියදිවි හානි කරගත් අයගේ බව සඳහන් වේ. තත්ත්වය මෙසේ වුවද වනාන්තර පිවිසුම්වල ඇති පුවරු මඟින් තම ජීවිතය වටිනා බවත්, තම පවුල් ගැන සිතිය යුතු බවත් මතක් කර දීමට අමතක කර නැත. ජපාන රජයේ සහ විවිධ සංවිධාන ආදිය මඟින් වනාන්තර තුළ සිදුකෙරෙන විවිධ සංචාරවලින් දිවිතොර කර ගැනීමට පැමිණෙන්නන්ගේ මානසික ව්‍යාකූලත්වය යහපත් මට්ටමකට ගෙන ඒමටත් ඔවුන් යළි නිවෙස් කරා යැවීමටත් උත්සාහ ගනී.

සියදිවි තොර කරගැනීමේ අරමුණින් යුතුවම පැමිණෙන්නන් හැර මරණය පිළිබඳ ස්ථීර මතයක් නොමැතිව මෙහි ඇතුල් වන පිරිස්ද වේ. ඔවුන් සිය ගමන ඇරඹි ස්ථානයේ සිට ටේප් පටියක් භාවිතා කරමින් වනය තුලට ගමන් කරති. මෙම වනයට ඇතුළු වූ පසු නැවත පිටතට පැමිණීම දුෂ්කර කාර්යයක් බැවින් නැවත හැරී ගමන් කිරීමේ පහසුව තකා මෙම ක්‍රමය යොදාගන්නා බව සිතිය හැක. මුළු වනය පුරා මෙසේ එක් එක් අතට ඇද ඇති ටේප් පටි දැකගත හැකිවීමෙන් මෙය තහවුරු වේ.

වනයට ඇතුළු වීමෙන් පසු පුද්ගලයන් මේ තුළ අතරමං වන්නේ භූතාත්මවල බලපෑමෙන් බව ජපන් ජාතිකයෝ විශ්වාස කරති. එසේම වනාන්තරයේ අඳුරු, නිහඬ බව නිසාද ඒ වටා අත්භූත කතන්දර ගෙතී ඇත. නමුත් වනාන්තරයේ නිහඬතාව පිළිබඳ සැලකීමේදී එහි පිටුපස ඇත්තේ භූ විද්‍යාත්මක මිස් අත්භූත හේතු නොවේ. මීට වසර ගණනාවකට පෙර ෆූජී කන්ද පුපුරා ලාවා ගලා ගොස් කැලෑව ලාවා මත වැඩුණු මුත් පස යට ඇති පාෂාණ ශබ්ද අවශෝෂණය කරගන්නා අතර එමඟින් ඒ අවට වායුගෝලය නිහඬ තැනක් බවට පත්කොට ඇත.

1960 දශකයේ සෙයිචො මැට්සුමොටෝගේ (Seicho Matsumoto) 'නමි නො තො' (Nami no To) හෙවත් 'Tower of Waves' නම් නවකතාවේ සියදිවි නසාගන්නා ආදරයෙන් විනාශ වූ, රූමත් වීරවරියකගේ විශේෂාංගයක් ඇත. මේ හරහා 'අකිගහාරා' සියදිවි නසාගැනීම සඳහා අතිශය අවධානයට පත් වූ ස්ථානයක් වූ බවට ජපන් වැසියන් දෝෂාරෝපණ එල්ල කරති. වතරු සුරුමිගේ (Wataru Tsurumi) කෙන්සන් ජිසාත්සු මන්යුආරි (Kanzen Jisatsu Manyuary) හෙවත් The Complete Manual of Suicide ග්‍රන්ථයෙහිද මෙම වනය මිය යාමට සුදුසු ස්ථානයක් ලෙස නම් කලේය. එසේම මෙම වනාන්තරය උප වාර්තා චිත්‍රපටයක් හා හොලිවුඩ් චිත්‍රපට දෙකක් සඳහා පාදක වී ඇත. එනම් 2015 වසරේ නිෂ්පාදිත 'The Sea of Trees' සහ 2016 දී නිෂ්පාදිත 'The Forest' යන චිත්‍රපටයි.

කෙසේවෙතත් මෙම ස්ථානය තුළ ක්‍රමයෙන් සියදිවි නසාගැනීමේ සංඛ්‍යාව ඉහළ යාම නිසා මෙතුළින් සොයාගත් මියගිය ගණන පොලීසිය විසින් ප්‍රකාශයට පත්කිරීම නවතා දැමීය. ඒ සියදිවි නසාගැනීමේ ස්ථානයක් ලෙස මෙම ස්ථානය කෙරෙහි ලැබී ඇති අවධානය අඩුකිරීමේ බලාපොරොත්තුවෙනි.එසේවුවද තවමත් මිනිසුන් සිය ජීවිතය සියතින්ම අවසන් කිරීම උදෙසා 'අකිගහාරා ජුකයි' වෙත යන බව කියවේ. ඒ නිසාම නිතරම එම ප්‍රදේශයේ එරට පොලීසිය මුර සංචාරයේ යෙදී සිටී.

8 comments:

Dil ka rishtha - හදවතේ බැදීම

සිංහල බසින් හඳවතේ බැඳීම කියන එක තමයි ‘dil ka rishtha’ කියන එකේ තේරුම වෙන්නෙ. මේ චිත්‍රපටය රිලීස් වෙන්නේ 2003 වසරේ ජනවාරි 17 වෙනිදා. එහෙම බලද...